රට ගොඩ­නැ­ඟීම සාමූ­හික වග­කී­මක් | සිළුමිණ

රට ගොඩ­නැ­ඟීම සාමූ­හික වග­කී­මක්

 

රජය අතුරු අයවැයක් ඉදිරිපත් කර තියෙනවා. දැඩි ලෙස ආර්ථික පීඩාවලට ලක්වී ඇති පහළ ආදායම්ලාභී ජනතාවට මෙමඟින් යම් සහනයක් ලැබී තිබෙනවාද?

මම හිතනවා යම් සහනයක් ලැබෙයි කියලා. නමුත් රජයේ බදු ආදායම් වැඩි කර ගැනීමට සිදුවෙනවා; බදු අය කිරීම් සිදුවන නිසා ජනතාවට යම් පීඩාවක් ඇති වෙන්න පුළුවන්; ඒ අනුව ජනප්‍රිය නොවන තීන්දු තීරණ කිහිපයක් ගැනීමට සිදුවෙනවා. 2019 වසරේ දි ජනතාව ඉල්ලපු නැති බදු සහන ජනතාවට දුන්නා. එතැනින් තමයි මේ ආර්ථික අර්බුදයේ මූලාරම්භය ඇති වුණේ. අපේ රටේ ඩොලර් අර්බුදය පමණක් නොවෙයි; රුපියල් අර්බුදයකුත් ඇති වෙලා. මේ බදු කප්පාදුව එයට හේතුවක් වුණා. රජයක් ලෙස අපි හරි මාර්ගයට යායුතුයි. බදු නැතුව රටක් දුවන්න අසීරුයි. මේ අතුරු අයවැයේදී ජනතාවට සහන එන වැඩපිළිවෙළක් යෝජනා වෙලා තියෙනවා. පහළ තීරුවල ජනතාවට ඍජු සහන ලබා දීමට කටයුතු කර තිබෙනවා.

ඍජුවම ලබාදී ඇති එම සහන මොනවාද?

සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් තෝරාගනු ලබන පවුල් 61,000කට රුපියල් 10,000ක් බැඟින් ලබාදීමේ කටයුතු සම්පාදනය කර තියෙනවා. ගර්භණී මව්වරුන්ට ගර්භණී කාලයේදී සහ දරු ප්‍රසූතියෙන් පසුවත් මාස දෙකක කාලයක් දක්වා රුපියල් 2500ක් බැඟින් ලබා දීමට කටයුතු කර තියෙනවා. අඩු ආදායම්ලාභී පවුල්වලට මාසකට රුපියල් 10,000ක් තවත් මාස හතරක් ඉදිරියට ගෙවනවා. ඒ වගේම සමෘද්ධි දීමනා රුපියල් 5000 සිට 7500ක් දක්වා වැඩි කර ඇති අතර සමෘද්ධි පොරොත්තු ලේඛනයේ පිරිසට; තාවකාලික දීමනාවක් ලෙස රුපියල් 5000ක් ලබාදීමට කටයුතු කර තියෙනවා. වැඩිහිටි දීමනාවද වැඩි කිරීමට කටයුතු කර තියෙනවා. භූමිතෙල් මිල ඉහළ යාමෙන් අපහසුතාවයට පත්වන අඩු ආදායම්ලාභීන් භූමිතෙල් සහනාධාරයක් ලබා දෙනවා. වකුගඩු රෝගයෙන් පෙළෙන අයට රුපියල් 5000 සහ 7500 අතර දීමනාවක් හිමිවෙනවා. පොරොත්තු ලේඛනයේ සිටින පිරිසටද තාවකාලික දිමනාවක් ලෙස එයත් හිමිවෙනවා. මහ කන්නයේදි පොහොර හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කරනවා. මෙහිදී වැදගත් කරුණක් වන්නේ සුබසාධනය වෙනුවෙන් ඇති කරන ලද පනත නැවත සක්‍රීය කරමින් නියමාකාරයෙන් වරප්‍රසාද හිමි අය හඳුනා ගැනීම.

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමට වෙනමම අංශයක් සකස් කිරීමටත්, රාජ්‍ය ආයතනයන්වල දූෂණ වැළැක්වීම සඳහා ආයතනයක් පිහිටුවීමටත් අවධානය යොමුවී තියෙනවා. මේවායෙන් අපේක්ෂිත අරමුණුමොනවාද?

නැවත ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් අපි පිහිටුවීමට කටයුතු කිරීමෙන් රාජ්‍ය අංශයේ නව ප්‍රතිව්‍යුහගත කිරීම් රැසක් ඇතිකිරීමට අපේක්ෂිතයි. එවැනි කර්තව්‍යයන් පිළිබඳව විශේෂඥ දැනුම ඇති කණ්ඩායම් එහි වැඩ කටයුතු කරමින් සිටිනවා. ඒවගේම එයට අවශ්‍ය වන තාක්ෂණික දැනුම ලබා ගැනීමට කටයුතු කරනවා . රජයක් ලෙස ඇතැම් ආයතනයන් රජය සතුව තබාගැනීමට සිදුවිය හැකියි. රජයක් සාමාන්‍යයෙන් ව්‍යාපාර කිරීම සුදුසු නැහැ. ඒ නිසයි මේ ප්‍රතිව්‍යූහගත කිරීම කරන්නේ. සම්පූර්ණයෙන් ඉවත් වන ඒවා තිබෙන්න පුළුවන්. ඇතැම් අවස්ථාවලදී රජයටත් හවුල්කාරයෙක් ලෙස යම් කොටසක් දැරීමට සිදුවෙයි. රටේ වටිනාම සම්පත් අපි රජයක් ලෙස ආරක්ෂා කළ යුතුයි. බෙදාහැරීම් සහ ජනනය කිරීම් බොහො රටවල පුද්ගලික අංශයෙන් සිදුවෙයි. අපේ රටේ එවැනි ඉලක්ක වලට එක්වරම යාමට නොහැකි වෙනවා.

මේ තත්ත්වයේදී ආයතන වසා දමා සේවකයන්ට රැකියා අහිමිවීමේ අවදානමක් මතුවීමට ඉඩ තිබේද?

කිසිදු අවස්ථාවකදී එවැනි ගැටලු මතු මතුවීමට අපි ඉඩ තියන්නේ නැහැ. අපි රජයක් ලෙස මේ සම්බන්ධයෙන් නිර්ණායකයන් ලබා දෙනවා. ඒ අනුවයි; ඊට අදාළ පාර්ශ්වයන් තීන්දු සහ තීරණ ගනු ලබන්නේ. ඒ නිර්ණායකයන් තුළ අදාළ කරුණු අඩංගු වෙනවා. අපි ඒ ආයතනයන්වල වෘත්තිය සමිති දැනුම්වත් කරලායි, ඒ කටයුතු කරන්නේ. මේ අවස්ථාව තමයි මෙවැනි කර්තව්‍යයන් කිරීමට හොඳම අවස්ථාවක. ජනතාව තේරුම් අරගෙන තියෙනවා යම් වෙනසක් වෙන්න අවශ්‍යයි කියලා. යම් ක්‍රියාමාර්ගයකට යායුතුයි කියලා ඇතැම් ආයතනවල සේවකයන්ගෙන් ඉල්ලීම් තියෙනවා.

රාජ්‍ය සේවය බඳවා ගැනීමට පිළිබඳව ජනප්‍රිය පොරොන්දු දී බලයට පැමිණි සෑම රජයකටම මේ රාජ්‍ය සේවාව බරක් වුණා. නමුත් ප්‍රතිව්‍යුහගත කිරීමට යෑමේදි ඇතිවන වෘත්තිය සමිති අරගල නිසා පැවැති රජයන්ට එම යෝජනා හකුළා ගැනීමට සිදුවුණා. මේ අවස්ථාවේදී රටෙ වෙනුවෙන් තීරණාත්මක තීන්දු ගැනීමට සිදුවෙලා තියෙනවා; මේ ප්‍රතිව්‍යුහගත කිරීම් මෙවරවත් සිදුවෙයිද?

රජයේ සේවයට බඳවා ගැනීම් කරන බවට පොරොන්දු දීලා දේශපාලනය කරන කාලය අවසන්. ඇතැම් පිරිස්වලට රාජකාරීමය කාර්යය භාරයක් නැති රාජ්‍ය සේවයට බඳවා ගත් පිරිස් ඉන්නවා. ඒ රාජ්‍ය සේවකන්ගෙන් වැඩකටයුතු රටට ඵලදායිවන ආකාරයට ලබාගන්නේ කෙසේද කියලා අපි විමර්ශනය කළ යුතුයි. ප්‍රතිව්‍යුහගත කිරීමේදී එවැනි දේවල් නැවත සකස් වෙනවා. ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් තාක්ෂණික දැනුම ලබා ගැනීමට හැකිවෙයි. රජයේ සේවකයන්ට විදේශයකට ගිහින් රැකියාවක් කිරීමේ අවකාශය ලබා දී තියෙනවා. ඒ සඳහා වසර 5ක නිවාඩුවක් ලබාදීලා තියෙනවා. එසේ නොමැතිනම් තමන්ගේ අභිමතය පරිදී රාජ්‍ය සේවාවෙන් ඉවත් වී හෝ යාහැකියි. ලංකාවට නැවත එන්න බලාපොරොත්තුවන අයට නැවත රැකියාවට එන්න පුළුවන්. අවුරුදු 5ක නිවාඩුවක් ලබාගෙන ගිහිල්ලා දැනුමත් වර්ධනය කරගෙන යම්කිසි ආදායමක් ලබාගෙන එන්න පුළුවන්. ඒ අනුව මේ රටේ රැදෙන පිරිස වෙනුවෙන් සම්පත් යොදන්න රජයට හැකිවෙනවා.

මේ රට 2048 වසර වනවිට පූර්ණ සංවර්ධිත රටක් බවට පත් කරන බව ජනාධිපතිවරයා පැවසුවා. එහෙත් පවතින ආර්ථික අර්බුදයට විසඳීමට සහ ආර්ථිකය ස්ථායීකරණයට කෙටි හා මධ්‍යකාලීන විසඳුම් අවශ්‍යයි නේද?

අනිවාර්යෙන්ම. අපි ඒ පිළිබඳව අවධානය යොමු කර තියෙනවා; අපි මූලිකව ආර්ථිකය ස්ථායිකරණය කිරීම සිදු කරනු ලබනවා. එය කිරීමට පළමු වැනි පියවර ලෙස මැයි මාසයේ මුදල් පනතක් ගෙනාවා. යම් බදු වැඩි කිරීමට සහ වෙනස් කිරීමකට යොමුවෙලා තියෙනවා. ඒ සඳහා අය වැය ඉදිරිපත් කිරීමේදි යම් කරුණු අඩංගු කර තියෙනවා. IMF සමඟ එකඟතාවයෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9 සම්බන්ධයෙන් ඇති වැඩ සටහනද ක්‍රියාත්මක වෙනවා. තවද 2023 අයවැයෙන් මතු කරන වැඩපිළිවෙළක් තියෙනවා. මේ කරුණු තමයි අපේ මූලික අඩිතාලම වෙන්නේ. අපේ කෙටිකාලීන වැඩසටහනේ අපි ඒ පිළිබඳව සාකච්ඡා කර තියෙනවා. ඒනිසා හරි පාරේ අපි ගියොත් අපි ඉක්මනින් යළිත් යථා තතත්වයට පත්විය හැකියි. අපේ ස්වභාවික සම්පත් ටික නිසියාකාරයෙන් කළමනාකරණය කර අපිට පුළුවන්. අපනයනික කෘෂිභෝග අපි නැවත නඟා සිටුවිය යුතුයි. තේ පොල් රබර් වගාව සහ වෙනත් අපනයනික භෝග වැඩිදියුණු කිරීමට දීර්ඝකාලීන වැඩසටහනක් සකස් කළ යුතුයි. රසායනික සහ කාබනික පොහොර අනාගතයට ගැලපෙන ආකාරයට ක්‍රමවේදයක් සකස් කරගත යුතුයි. කෘෂිකර්මයට තාක්ෂණයත් උපයෝගි කරගැනීම අත්‍යවශ්‍යයි. සංචාරක කර්මාන්තය දියුණු කළ යුතුයි. විදෙස් ප්‍රේෂණ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතුයි.

මේවනවිට පවතින විදෙස් සංචිත හිඟය සහ ඩොලර් හිඟයට ලැබීමට IMFණය විසඳුමක් වෙයිද?

බදු වැඩිකිරීම සිදුකළේ පවතින රුපියල් ප්‍රශ්නය විසඳීමක් ලෙසයි. වියදම් කළමනාකරණය ඵලදායිතාව වැඩිකිරීම සිදුකරමින් පවතිනවා. අවුරුදු කිහිපයක් අපිට අමාරුවෙයි. නමුත් අපි ඕනෑම අර්බුදයකට මුහුණ හැකි ජාතියක් . IMF හරහා මේවවනවිට ඩොලර් බිලියන 2.9 ප්‍රමාණයක් අනුමතවී තිබෙනවා. ලැබෙන මුදල්වලින් නොවෙයි; රටේ ආර්ථිකය ශක්තිමත් වීමේ මූලික අඩිතාලම වැටෙන්නේ IMFමඟින් ගොඩනැඟෙන රාමුව මතයි.

මේ අවස්ථාවේදී විවිධ පක්ෂ විවිධ දේශපාලනික මතවාදිමය ගැටුම්වල සිටිනවා. ආර්ථිකමය අර්බුදය විසඳීමට සර්වපාක්ෂික ආණ්ඩුවකට සහයෝගය ලැබෙයිද?

මම හිතන්නේ විවිධ මතවාද දරන පිරිස් සිටියත් දේශපාලනික ස්ථාවරත්වයක් ඇතිවෙමින් පවතිනවා. තනි මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයක් නියෝජනය කරන ජනාධිපතිවරයෙක් වුවත් සියලු දෙනාම රටේ ජනතාගේ ප්‍රශ්න වෙනුවෙන් වැඩ කළ යුතුයි කියන ස්ථාවරයට පක්ෂ භේදයකින් තොරව බොහෝ දෙනෙක් පැමිණ තියනවා. රට වෙනුවෙන් කටයුතු කළ යුතුයි කියන කාරණාව පදනම් කරගෙන වෙනත් කාලයක නැති දේශපාලනික ස්ථාවරත්වයක් මතු වෙලා තියනවා කියලා මම හිතනවා; සමහර පක්ෂ සියයට සියයක් එකතු වෙලා දායකත්වය නොදුන්නත් කකුලෙන් ඇදිලි දේශපාලන වාසි ගන්න සමාන්‍ය කාලයක මෙන් දක්නට ලැබෙන්නේ නැහැ කියලයි මම විශ්වාස කරන්නේ.

ඇතැම් දේශපාලන පක්ෂ සර්ව පාක්ෂි ආණ්ඩුවකට සහයෝගය නොදුන්නත් රටක් ලෙස ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සහයෝගය දෙන බව ප්‍රකාශ කර තියෙනවා නේද? ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කෙබදුද?

විශේෂයෙන් අපේ බලාපොරොත්තුව රටට හරිම දේ කිරීමයි; එහිදි කාටවත් එයට සහය නොදී ඉන්න අපහසුයි. රටක් ලෙස ජනතාව වෙනුවෙන් ගනු ලබන හොඳ තීන්දුවලට අකමැත්තක් නොදක්වන්න හේතුවක් නැතුව යනවා. රජයක් වශයෙන් අපිට අද දෙපාරක් හිතන්න බැහැ. සිතිය හැක්කේ රට සහ ජනතාව ගැන විතරයි. ජනතාවත් කරුණු අවබෝධ කරගෙන ඉන්නේ; රටක් ලෙස අපි විශාල අර්බුදයක ඉන්නවා. ඒ අර්බුදය එක් රැයකින් අවසන් වෙන්නේ නැහැ කියලා කරුණු අවබෝධ කරගෙනයි ජනතාව ඉන්නේ. ඒ නිසා යම් කිසි කාලයක් යම් ඉඩ ප්‍රස්ථාවක් විශ්වාසයක් තියාගෙන ලබා දියයුතුයි කියන ස්ථාවරත්වයේ ජනතාවත් සිටිනවා. රජයටත් ඒවගේම විශාල වගකීමක් තියෙනවා ජනතාවගේ විශ්වාසය කඩනොකර මේ වැඩ කටයුතු ටික ඉදිරියට ගෙන යාමට.

මෙරට ප්‍රබල පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලයේ පසුබෑමකට ලක්වෙලා තිබුණා. මේවනවිට 76 සංවත්සරයට පාතබා තියෙනවා. පක්ෂයක් ලෙස යළි ගොඩනැඟෙන්න යම් වැඩපිළිවෙළක් තියෙනවාද?

අපි ඒ වැඩ පිළවෙළ ආරම්භ කළේ 75 වැනි සංවත්සරයත් සමඟයි. පක්ෂයේ ඒ වර්ධනය අපි දැන් දකිනවා. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළත් සමඟ රටේ ලොකු වෙනසක් සිදුවුණා. ඒ නිසා ජනතාව එක්සත් ජාතික පක්ෂයත් සමඟ පෙළගැසෙමින් පවතිනවා. ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ විදෙස් විනිමය ගලා ඒමත්, පෝලිම් අඩුවී යම් වෙනසකට ලක්වීමත්, ඖෂධ හිඟය තුරන් වීමත් සිදුවෙමින් පවතිනවා. ජනතා විශ්වාසය සමඟ ගමෙත් නගරයේත් පක්ෂය ගොඩනැඟීම වඩා වේගවත් වෙලා තියෙනවා. යු.එන්පිය ගොඩනඟා ගැනීම යුඑන්පී කාරයෝ ලෙස අපේ වගකීම. නමුත් මේ මොහොතේ සියලු පක්ෂ එකතු කරගෙන යාමක් තමයි අපි කළ යුතුව තියෙන්නේ. අවම තරමින් වසර දෙකක් තියෙනවා, ජනාධිපතිවරණයකට. මහ මැතිවරණයකට වසර තුනකට ආසන්න කාලයක් තියෙනවා. අපි රට පාලනය කරන්න කැමැති සියලු දේශපාලන පක්ෂ එකතු කරගෙනයි.

සියලු පක්ෂ එකතු වී රට පාලනය කිරීම තුළ විපක්ෂයක් පිළිබඳ ගැටලුවක් මතුවෙනවා නේද? ප්‍රජාතන්ත්‍රිය රටක විපක්ෂයක් නොමැතිවීම යම් ගැටලුවක් නොවෙයිද?

යම් යම් මත දරණ අය මේ තුළ ඉන්න පුළුවන්. නමුත් පොදුවේ රට ගොඩනඟනවා යන සමූහික වගකීම අපි කාටත් තියෙනවා. රට ගොඩනැඟීමට අදාළ සාමුහික තීන්දු ගැනීම අත්‍යවශ්‍යයි. එහිදි අපි යෝජනා කරන ඇතැම් කාරණාවලට අනෙක් දේශපාලන පක්ෂ විරුද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා විපක්ෂයක් නැති වුණත් රට ගොඩනැඟීමට මේ මොහොතේ සියලු දෙනා සාමුහිකව එකතු විය යුතුයි. එහෙත් මතවාදීමය වශයෙන් වෙනස්කම් තියෙන්න පුළුවන්.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස ඔබට පැවරී ඇති කාර්යභාරය කෙබඳුද?

ඇත්ත වශයෙන්ම විශාල කාර්යය භාරයක් පැවරී තියෙනවා. විශේෂයෙන් ම දේශපාලන කටයුතු සහ ආර්ථික කටයුතුවලටත් මම සහයෝගය දෙනවා. වර්තමානයේ ඇතිවෙලා තියෙන ආර්ථික ගැටලුවත් සමඟ මතුවන විවිධ වැඩකටයුතු සඳහා සහභාගී වෙනවා. IMF සාකච්ඡාවල මතුවන කරණු කාරණා පිළිබඳව අධික්ෂණයක් වෙනවා; මුදල් ඇමැතිතුමා ජනාධිපතිවරයා වන අතර එතුමාගේ කර්තව්‍යයන් සඳහා අවශ්‍ය අවස්ථාවලදී යම් මැදිහත් වීමක් සිදුවෙනවා. මම අමාත්‍යංශවල රාජකාරීවලට මැදිහත් නොවන අතර පොදුවේ රටේ පවතින ගැටලුවලදි මමත් ජනාධිපති ලේකම්වරයාත් විවිධ අවස්ථාවලදී සම්බන්ධ වෙනවා.

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නේ

 

Comments